තුරු ලිය සුරකින බොදු උපදෙස්
ජෛවීය සම්භවය පිළිබඳ විශ්වාසනීය යථාර්ථවාදී අදහස ඉදිරිපත් කළ එකම ආගමික ශාස්තෘවරයාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේ දේශනාකොට වදාළ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්රය, එය පසක් කරයි. එම සූත්රයේ සඳහන් වන ලෙසට පෘථිවියේ මුලින්ම හටගෙන ඇත්තේ භූමි පප්පටක, භදාලතා සහ ස්වයංජාන සහල් වැනි ශාක වර්ග ය. සත්වයන් බිහි වී ඇත්තේ, ඉන් පසුවය. මෙම ශාක බිහිවීම සත්ත්වයන්ගේ සම්භවයට අවශ්යම සාධකයක් වී ඇත. ශාකවලින් තොරව සත්ත්වයන්ගේ පැවැත්ම, සිහිනයකි. මේ සත්‍ය ය වටහාගත් ක්රිස්තු පූර්ව හයවන සියවසේ බිහි වූ ජෛන දර්ශනයද, ශාක ඒකීන්ද්රිය ජීවින් ලෙස දක්වා ඇත.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගතකොට ඇත්තේ ද තුරුලිය ඇසුරු කරගෙන ය. සිදුහත් උපත සිදු වී ඇත්තේ ද ලොවුතුරා බුද්ධත්වයට පත් වී ඇත්තේ්ද පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ ද වෘක්ෂලතා ඇසුරුකොට ගෙන ය. දහවන වස් කාලය වැඩ සිටි බව දැක්වෙන්නේ ද පාරිලෙය්යක වනයේ ය. භද්දවග්ගිය කුමාරුවරු මුණ ගැසී ඇත්තේ ද උන්වහන්සේ සිංසපා නම් වනගත පෙදෙසක වැඩ වෙසෙද්දී ය. වෘක්ෂලතාවල පත්‍ර, තණකොළ ආදිය උපමා වශයෙන් ගෙන ඇති අවස්ථා බොහෝ විට බණ පොතේ සඳහන්ව ඇත. දිවා විහරණය සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ්ද තුරුලිය අතර ප්රදේශය. භික්ෂූන්ට භාවනාව සඳහා සුදුසු ම ස්ථාන තුරුලිය වලින් ගහණ ප්රදේශ ලෙස ද දේශනාකොට ඇත.
භික්ෂූන් වහන්සේට පමණක් නොව, සියලු සත්වයන්ගේ උපතේ සිට විපත දක්වා ආහාර වශයෙන් ද සෙවණ ලබා ගැනීමට ද ශ්වසනයට අවශ්‍ය වායුවේ පවිත්රත්වයටද උපකාරීවන වෘක්ෂලතා වගා කරන්නට උපදෙස් දී ඇත. (ආරාම රෝපා වන රෝපා) තුරුලිය කැපීම නිසා සිදුවන ජල උල්පත් සිඳී යෑම, පාංශ ඛාදනය, ගංගා පත්ල ගොඩ වී ජල විපත් ඇතිවීම වැනි හානිකරන තත්ත්වය නිසා වන වගාවට ද බුදුන් වහන්සේ උපදෙස් දී ඇත.
(වනං පින්දථ මා රුක්ඛ) මේ කරුණු සියල්ල විමංශනය කිරීමෙන්, මෙතෙක් ලොව පහළ වූ අන්කිසි පුද්ගලයකු නොසිතූ®, ප්රකාශ නොකළ උතුම් ප්රකාශ සමුදායක් දේශනා කරමින් තුරුලිය සිය පණ මෙන් රැකගන්නා ලෙස දේශනා කර ඇති උත්තමයාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය.